මෝහාන්ධකාරයෙන් වෙළී ගත් දනන්ට ප්‍රඥා ලෝකය ලබාදෙන අසරණ වූ සත්ත්වයනට සරණ වෙන විවිධ වූ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන මිනිසුන් වෙත දහම් ඔසු බෙදන සසර සයුරේ අතරමං වී එතෙර වන්නට මඟක් සොයනුවනට දහම් පහුරක් තනා ගැනුමට මගක් පෙන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්.
බුදුවරයෙක් ලොව පහළවීම දුර්ලභ යැයි කියන්නේ බුදුවරයෙකු වීමට අවශ්‍ය බෝධි චිත්තය සකස් කර ගැනීමට සත්‍යාවබෝධයට සුදුසු මානසිකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන පාරමී ධර්මාදිය පුරන්නට යන කාලය සළකා බලා ගෙනයි. දස පෙරම්දම් පිරූ බෝසත්වරුන් බුද්ධත්වයට පත්වන කාල පරාසය කල්ප ගණනින් දක්වා තිබෙනවා.
වෙස්සන්තර ආත්ම භවයේ දී මහපොළොව කම්පා වෙන තරමේ මහ දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කළ අපමහබෝසතාණන් වහන්සේ කළ මහ පින් බලෙන් තුසිත දෙව්ලොව උපන්නා. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපදී සිටින විට බුද්ධ කෝලාහලයක් ඇතිවුණා. ලෝකයෙහි පහළවන කෝලාහල වර්ග තුනක් අට්ඨකථාවල සඳහන් වී තිබෙනවා. ඒ කල්ප කෝලාහලය, බුද්ධකෝලාහලය, චක්කවත්ති කෝලාහලය යි. කෝලහාල කියන්නේ අවි ආයුධ අරගෙන රණ්ඩුවීමක් නොවේ. ලොකු ආරංචියක් තොරතුරක් ලෙස පැතිරී යාමයි.
බුද්ධ කෝලාහලය
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නට වසර දහසකට පෙර ලෝක පාලක දෙවියන්, මිනිසුනි, මෙයින් වසර දහසකට පසු ලෝකයෙහි සම්මා සම්බුදුපියාණන් වහන්සේ නමක් පහළ වන්නාහුය යනුවෙන් කියමින් දෙවි මිනිසුන් දැනුවත් කරමින් ඇවිදිනවා. මේ නිසා මිනිස් ලොව මිනිසුන් අතර ද, දෙව්ලොව දෙවියන් අතරද, බඹලොව බ්‍ර‍්‍රහ්මයන් අතරද බුදුවරයෙකු පිළිබඳව මහත් උනන්දුවක් ඇතිවෙනවා. ඒ ගැන හැම දෙනාම කථා කරනවා. බුදුබව ලබන්නේ් කවුදැයි විමසනවා. එය බුද්ධ කෝලාහලය නමින් හඳුන්වනවා.
බුද්ධ කෝලාහලය ඇසු දෙවි දේවතාවෝ මතු බුදුවන බෝසත් උතුමා කවරෙක්දැයි සොයනවා. එක් එක් සක්වල තිබෙන චාතුම්මහාරාජිකය, යාම, තුසිතය, පරනිමිත්තවසවත්ති දෙව්ලොව වල අධිපති දෙවියනුත් මහාබ්‍රහ්මයන් සමඟ එක් සක්වලකට රැස් වී තුසිත භවනෙහි වාසය කරන්නා වූ බෝධි සත්වයන් වහන්සේ වෙත ගොස්. “පින්වත, ඔබ දස පාරමිතා පිරුවේ ශක්‍ර සම්පත් හෝ සක්විති සැප හෝ බ්‍ර‍්‍රහ්ම සම්පත් හෝ අපේක්ෂාවෙන් නොවේ. ඔබ පාරමිතා පිරුවේ ලෝකයා දුකින් මුදවාලනු පිණිසයි. සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිසයි. පින්වත, මේ බුදුවීම පිණිස සුදුසු කාලයයි. යනුවෙන් බෝසතාණන් වහන්සේගෙන් බුද්ධත්වයට පත්වෙන්නැයි ආයාචනා කර සිටියා. ඒ අයැදුමෙන් පසු අප මහ බෝසතාණන් වහන්සේ බුදුවනු පිණිස මනුලොව පහළවන්නට සිතා පස්මහ බැලුම් විලෝකනයන් සිදුකළා. පස්මහ බැලුම් බැලුවා. දෙවියන්ගේ ඉල්ලීම පරිදි උන් වහන්සේ තමන්ට දෙව්ලොවින් චුත වන්නට කාලය පැමිණි කළ ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවිය කුස තුළ පිළිසිඳ ගත්තා.
මව්කුස පිළිසිඳ දස මස ආසන්න වූ පසු මහාමායා දේවියට තමන්ගේ මාපියන් දක්නට දෙව්දහ නුවරට යාමේ අවශ්‍යතාවයක් ඇතිවුණා. සුදොවුන් රජු ගමනට සියල්ල සම්පාදනය කළා. දෙව්දහ නුවරට යන අතරමඟදී ලුම්බිණි සල් උයන වෙත ගියා. වෙසක් මස පුර පසළොස්වක පෝදා මහාමායා දේවිය තම පින්වත් පුත් කුමරු බිහිකළා. ඒ අසිරිමත් බෝසත් උපත දුටු කෝටි ගණන් දෙවියෝ සාධු නාද පැවැත්වූවා. පොළොව මහ හඬින් කම්පා වුණා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් බුදුබව පතා පාරමී දම් පිරූ මහබෝසතාණන් වහන්සේ තම අවසන් ජන්මලාභය ලබා මනුලොව පහළ වී ලොවට උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා.
කුඩා කල සිට ලොකු කුඩා සැමගේ ගෞරවයට පත්වූ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ක්‍රමයෙන් වැඩී යශෝධරා දේවිය සමඟ විවාහ වී රම්‍ය සුරම්‍ය සුභ නම් වූ මාලිගා තුනෙහි වාසය කරමින් ශරීරයට අතිශයින් ම සැප ලබා දී වසර විසි නවයක් ගිහි - ගෙදර ගත කළා.
ඉන්පසු සංසාර දුකෙන් මිදෙනු පිණිස චතුරාර්ය සත්‍යාවබෝධයට පහසුවක් යැයි සලකා පැවිදි වුවත් පැවිදිිව අනුගමනය කළ යුත්තේ කිනම් ප්‍රතිපදාවක් දැයි නොදැන සිටි සිද්ධාර්ථ තාපසතුමා එකල සිටි සිත දියුණු කරගත් ආගමික නායකයන් කීප දෙනෙකු යටතේ ඉගෙන ගත්තත් තමා සොයන විමුක්තිය නොලැබුණ හෙයින් බුද්ධත්වය පිණිස ශරීරයට අතිශයින් ම දුක් දිය යුතුය යන පදනමින් ගොඩනැගුණු ප්‍රතිපදා වූ අත්තකිලමතානු යෝගය අනුගමනය කරන්නට වුණා.
අත්තකිලමථානු යෝගය යනු ශරීරයට අතිශයින් ම දුක් ගෙන දෙන ප්‍රතිපදාවයි. එසේ ශරීරයට පීඩා පැමිණවීමෙන් අපේක්ෂා කරන්නේ දුක කියන දේ විඳ වීමෙන්ම කෙළවර කිරීමයි. ඒ දුක කෙළවර කොට සම්මා සම්බුද්ධත්වයට පත්විය හැකිය යන්න එදා කාලයෙහි ශ්‍රමණ සම්ප්‍රදාය පිළිගත් එක් විශ්වාසයක් වුණා. කාලයකදී එය නිවනට මඟ නොවන බව තේරුම් ගත් බෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අත්තකිලමථානු යෝගය අත්හැරියා.
සම්මා සම්බුදු බව
ශරීයට අතිශයින් දුක් දීම අත්හල උන්වහන්සේ මැදුම් පිළිවතෙට පිවිසෙමින් මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරමින් උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම් ගම වෙත වැඩම කළා. සුජාතා සිටුදියණිය පූජා කළ කිරිබත් වැළඳු උන්වහන්සේ සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් සෙවණ දෙමින් තිබූ තමන් මේ ලොව උපත ලබන විට ම ලොව පහළ වූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළා. එහි වූ වජ්‍රාසනය මත එම කුස තණ අට මිට ඇතිරුවා. වජ්‍රාසනය මත පළඟක් බැඳ තිර අදිටනකින් යුතුව බුදුවෙලා මිස මේ අසුනෙන් නො නැගිටිමි යන සිතින් භාවනාවට සිත යොමු කළා. තම ශරීරයේ සම්, නහර, ඇට, ඉතිරිවේවා! අවශේෂ මස් ලේ වියළී යේවා, බුදුබව පිණිස වන බලාපාරොත්තුව අත් නොහරිමි. බුදුවෙලා මිස අසුනෙන් නො නැගිටිමි යන දැඩි අධිෂ්ඨානය සිතෙහි ඇතිකර ගත්තා.
මාරයා ඇතුළු පිරිස පරාජයට පත්කර සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා. බියෙන් පලා යන්නට වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා. මාරයා පරාජයට පත්වුණා යනුවෙන් සතුටින් හඬ නගන්නට වුණා. සියලු දෙවියෝද සියලු බ්‍රහ්මයෝ ද, සියලු නාගයෝ ද, සුවඳ මල් ආදි පූජා ද්‍රව්‍යයන් අත දරා බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා ඒ සියලු පූජා ද්‍රව්‍යයන්ගෙන් බෝසතාණන් වහන්සේ වෙත පූජා කළා.
ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු තුය්හං
මුනීන්ද්‍රයාණන් වහන්සේට බෝධි මූලයේ දී ජයක් ම විය. මාරයාට පරාජයක් ම අත්විය. ඒ දුටු දෙවියෝ ප්‍රසාදයට පත් වී සාධු නාද පවත්වා ඝෝෂා ඇති කළා. ඒ සත්‍යානුභාව බලයෙන් ඔබට ජයක් ම වේවා!
තලල්ලේ චන්දකිත්ති හිමි
උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
No comments:
Post a Comment
මෙම බ්ලොග් අඩවියේ ලිපි ගැන ඔබගේ අවංක අදහස සටහන් කොට යන්න.